novel
දීන
පරිසරයක අදීනත්වය ආරක්ෂා කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා විශාල ආත්ම
ශක්තියක්, චරිත ශක්තියක් තිබිය යුතුය. තමන්ගේ හෘදය
සාක්ෂියට අනුව කතා කිරීමට නොහැකි නම් ඔහුට හෝ ඇයට සැබෑ සාහිත්‍යකරුවකු වන්නට
හැකියාවක් නැත. සැබැවින්ම සාහිත්‍ය නිර්මාණ යනු බලය,
යසස, කීර්තිය සඳහා කරන්නක් නොව බ්‍රහ්මාස්වාදය ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන්
කරන්නකි.
එනම් ලෝක
නිර්මාතෘවරයා සමඟ හෙවත් ලෝකය හසුරුවන පරම සත්‍ය ධර්මය සමඟ එක්වීමයි. ඒ දහම වටහා
ගැනීමෙන් සහ එය සෙසු ලෝකයාට පැවසීමෙන් ලැබෙන ආස්වාදයට වැඩි යමක් සාහිත්‍යකරුවා
නොපැතිය යුතුයි.
එවන්
සාහිත්‍යයේ තවත් ලක්ෂණයක් වන්නේ මිනිසාට තමා මෙන්ම තමන් වසන සමාජයේත්, යුගයේත් හැඩරුව හා ස්වභාවය මනසින් මෙන්ම හදවතින් දැක ගැනීමට නිර්මාණය කර
ගන්නා ලද කැඩපතක් බවට පත් වීම ය. එහිදී නවකතාව අනෙකුත් සාහිත්‍යාංගවලට වඩා ප්‍රධාන
ස්ථානයක් උසුලයි.
නවකතාව
යනු කුමක් ද? යන පැනයට පිළිතුරු සෙවීමට නම් අප නව කතාවට
නිර්වචනයක් දිය යුතු ය. සැබැවින් ම එය සරල ව නිර්වචනය කළ නොහැකි වුවත්, ලෝකයේ මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨ නවකතා දෙස බැලූ විට අපට අවබෝධ වන්නේ මූලික
වශයෙන් ම නවකතාවක කොටස් දෙකක් ඇති බවයි. එනම්,
1) සමාජ ඓතිහාසික කතාන්දරය
2) ඒ නව කතාවේ පාත්‍ර චරිතවල හද – මනස විග්‍රහ කෙරෙන මානුෂික කතාන්දරය වශයෙනි.
විශේෂත්වය
වන්නේ නව කතාවක මේ කතාන්දර දෙක එකිනෙක හා සංකීර්ණව බද්ධ වූවක් ලෙස පැවතීමයි.
කෙටියෙන්
එසේ කියු දෙය තවදුරටත් පැහැදිලි ව වටහා
ගන්නේ නම් නිදසුනක් ලෙස වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ පැවැත්ම අපට අවබෝධ කර ගත
හැකිය. කෙනෙකුට එකවර ම නොපෙණුන ද ගම්පෙරළිය නවකතාව ලියැවී ඇත්තේ ඓතිහාසික යුගයක්
මුල් කොට ගෙන ය. එය අනුරාධපුර හෝ පොළොන්නරුව යුග නොව 19 වැනි සිය වසේ අග භාගය වූ සිදුවීමක් බව පැහැදිලි ය.
බ්‍රිතාන්‍ය
ආධිපත්‍යය යටතේ පැමිණ ගමේ අයිතිය, බලය
තහවුරු කරගන්නා කයිසාරුවත්තේ මුහන්දිරම් ගෙන් විශාල සමාජ බලවේගවල උත්පත්තිය මෙන්ම
පියල්ගෙන් නගරාශි‍්‍රත ව බිහිවන ධනවාදය අලුතින් ගමට ඇතුළු වන ආකාරය ආදි වූ සමාජ
ඓතිහාසික චිත්‍රය ප්‍රබල ව එහි චිත්‍රණය වේ.
මෙහිදී
යමෙකුට ප්‍රශ්නයක් නඟන්නට ද පුළුවන. එනම් නවකතාවකට මෙවැනි සමාජ ඓතිහාසික කතාවක්
අවශ්‍ය වන්නේ ඇයි? කියා ය. එය ඉතා පැහැදිලි ව වටහා ගත යුතු
කරුණකි. හේතුව ඇතැමුන් සිතන්නේ නවකතාකරු පාඨකයාගේ විශ්වසනීයත්වය තහවුරු කිරීමට
මෙවැනි දේ කරන බවයි. එහෙත් එය වැරැදි මතයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා
පවා එවැනි දෙයක් කියා තිබුණ ද ඊට වඩා ගැඹුරු යමක් එහි පවතී.
නවකතාවකට
වැදගත් වන්නේ සමාජ ඓතිහාසික චිත්‍රයයි. හේතුව මානුෂික කතාව ගොඩ නැඟෙන්නේ ඒ අනුව
වීම ය. නවකතාවෙන් කියැවෙන දෙය, එහි
දර්ශනය කුමක් ද යන්න පාඨකයාට වැටහෙන්නේ එවිට ය. කතාන්දර දෙකෙහි අන්‍යෝන්‍ය
බලපෑමෙන් නවකතාව බිහිවන බව කියන්නේ ද එබැවිනි.
Comments
Post a Comment