Psychology


මනෝවිද්‍යාවේ ස්වභාවය

              ඈත අතීතයේ සිටම මිනිසා විසින් මිනිස් මනස අවබෝධ කරගැනීමට ඉමහත් ප්‍රයත්නයක් දැරූ බව නොරහසකි. බටහිර දර්ශනයේ ආරම්භක යුගයේ වන ග්‍රීක යුගයේ ජිවත් වු පයිතගොරස්, ප්ලේටෝ හා ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයන් විසින් ආත්මය ගැනත් කායික ක්‍රියාවලියට අමතරව බලපවත්වන මානසික ක්‍රියාවලියක් ගැනත් සදහන් කර ඇත. ඇත්ත වශයෙන්ම ඔවුන් ආත්මය (soul) යන්න මනස යන වචනයට වඩා භාවිතා කරනු ලැබූ අතර එය මනස යනුවෙන් වර්තමානයේ වෙනස් වී තිබේ.

               “කාර්මික විප්ලවය නිසා ලෝකයේ ඇති වු නොයෙක් වෙනස්කම්වලට ද වඩා අප ජිවිත කෙරෙහි බෙහෙවින්ම බලපානු ලබන විද්‍යාව වන්නේ මනෝවිද්‍යාවයි” යනුවෙන් මහාචාර්ය අයිසෙක් නිවුටන් (Eysenk H.J.) ප්‍රකාශ කර ඇත. අපගේ ජීවිතය හා සම්බන්ධ සෑම ක්ෂේත්‍රයක්ම, සෑම අංශයක්ම පිලිබදව හැදෑරීම මනෝවිද්‍යාව මගින් කෙරේ. වර්තමානයේ සමාජය සංකීර්ණ වීමත් සමග ම වැඩිවන මිනිස් ගැටළු විසදිමෙහිලා උපකාරීවන විෂයක් වශයෙන් මනෝවිද්‍යාවට වැඩි පිළිගැනීමක් ලැබෙමින් පවතියි. ඒ නිසාම මනෝවිද්‍යාව සතු කාර්යභාරය ද එහි විෂය ක්ෂේත්‍රය ද පුළුල් වෙමින් පවතියි. ලොව ඇති සංසිද්ධි අතුරින් මිනිසා කේන්ද්‍ර කරගත් ගැටළු අන් සියලු ගැටළු අබිභවා යයි. ඒ නිසා මිනිස් ගැටළු, මිනිස් චර්යාවන් පිලිබදව අධ්‍යනය කරන විද්‍යාවක් වන මනෝවිද්‍යාව විෂයට ගැටළු සහිත සංකීර්ණ නවතම ක්ෂේත්‍ර පිලිබදව අධ්‍යනය කිරීමට සිදු වී ඇත.

            සාර්ථක වැඩිහිටියෙකු බිහි කර ගැනීමට උචිත වන ලෙස ළමයින් හදා වඩා ගන්නා ක්‍රම කවරේද? මානසික රෝගවලින් මිනිසුන් බේරාගන්නේ කෙසේද? ස්මරණය හා බුද්ධි වර්ධනය කෙරෙහි මත්ද්‍රව්‍ය ඇතිකරන බලපෑම කවරක්ද? දුම්බීම නැවත්වීම සදහා උචිත ක්‍රියා පිළිවෙල කුමක්ද? රූපවාහිනී සටන් දර්ශන තරුණ චර්යා වෙනස් කිරීමෙහිලා කොතරම්දුරට බලපායිද? වැඩි ප්‍රතිපල ලබාගත හැකි පරිදි ඉගැන්වීම් ක්‍රම කෙසේ සකස් කරගත යුතුද? ආදී විවිධ ක්ෂේත්‍රවල මිනිසා සම්බන්ධව පැන නගින බොහෝ ගැටළු පිලිබදව නුතන මනෝවිද්‍යාඥයින් විසින් පර්යේෂණ පවත්වනු ලබයි.

           මනෝවිද්‍යාත්මක පරීක්ෂණවලින් හෙළිවන නව දැනුම ව්‍යාප්ත වීමත් සමග ම එහි ප්‍රතිපල මිනිස් ජිවිත හැඩගැස්වීමෙහිලා විවිධ අයුරින් භාවිතයට ගැනේ. වරදකරුවන්ට දඩුවම් නියම කිරීමේදී, ලිංගික හැසිරීම්වලට ඇති ඉඩකඩ පිලිබදව සීමා පැනවීමේදී, වෘත්තීය ක්ෂේත්‍රයේ අදාල වෙනස්කම් කිරීමේදී මනෝවිද්‍යාත්මක කරුණු බෙහෙවින් සැලකිල්ලට ගැනේ. විශේෂයෙන්ම භීෂණ දර්ශන හා සටන් දර්ශන දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද චර්යා විකෘති කිරීමෙහිලා බලපාන ආකාරය පිළිබද මනෝවිද්‍යාඥයින් සිය පර්යේෂණ මගින් සහේතුකව කරුණු අනාවරණය කල පසුව එම දර්ශන වෙනස් කිරීමට රූපවාහිනී බලධාරීන් ද, තම දරුවන් ඒවා බැලීමෙන් වැලක්වීමට දෙමව්පියන්ද පියවර ගෙන ඇත.

            මේ අයුරින් බලනවිට අප සෑම දෙනාගේම ජිවිත කෙරෙහි විවිධ අන්දමින් මනෝවිද්‍යාව සම්බන්ධ වී ඇත. ඒ නිසාම හැම දෙනාම තම ජිවිත අර්ථවත් පරිදි හැඩගස්වා ගැනීමට මනෝවිද්‍යාව පිළිබද කිසියම් අවබෝධයක් ඇතුව සිටීම වටනේය. මිනිස් චර්යාව හැඩගස්වා ගත හැකි අන්දම පිලිබදව මනෝවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන ලද මතයන්, මුලධර්මයන් භාවිත කරමින් විවිධ ප්‍රචාරක ආයතන විසින් භාණ්ඩ අලෙවි කිරීමට විවිධ උපක්‍රම යොදාගනු ලැබේ. මේවා තේරුම් ගැනීමට, තමාට අවශ්‍ය දේ මිස අනුන්ට අවශ්‍ය දේ මිලට නොගැනීමට, පුවත්පත් ලිපිවල පලවන කරුණු අර්ථවත් ලෙස තේරුම් ගැනීමට මනෝවිද්‍යාව පිළිබද මූලික වැටහීමක් හැම අයෙකුටම තිබීම ප්‍රයෝජනවත්ය. කෙටියෙන් කිවහොත් අප සැවොම මනෝවිද්‍යාත්මක පරීක්ෂණ කෙරෙහි එහි ප්‍රතිපල කෙරෙහි වැටහීමකින් හැම අයෙකුටම තිබීම ප්‍රයෝජනවත්ය. කෙටියෙන් කිවහොත් අප සැවොම මනෝවිද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි එහි ප්‍රතිපල කෙරෙහි වැටහීමකින් යුතුවීම ඉතා වැදගත්ය. අපගේ ජිවිත වඩාත් සාර්ථක කරලීමට, අර්ථ සම්පන්න ලෙස හසුරුවා ගැනීමට අන් කවර විෂයකට ද වැඩ මග පෙන්වීමේ හැකියාව මනෝවිද්‍යාවට ඇත.

            මනෝවිද්‍යාව විද්‍යාවක් වශයෙන් වර්ධනය වීමට බලපෑ ප්‍රධාන හේතුව වුයේ විද්‍යාත්මක ක්‍රම යොදාගැනීමයි. විද්‍යාවේ විධික්‍රම මනෝවිද්‍යාවට භාවිතා කිරීම නිසා පිළිගත් විද්‍යාවක් බවට පත්විය. මේ නිසා චර්යාව පිළිබද විද්‍යාවක් ලෙස මනෝවිද්‍යාව හැදින්වීමට ඇතැම් ලේඛකයන් උනන්දු වු බව කිව හැකිය.



  මනෝවිද්‍යාව අර්ථ දැක්වීම

             අද මනෝවිද්‍යාව හුදු ශාස්ත්‍රීය ග්‍රන්ථ අධ්‍යනයක්ම නොවන බව කිව යුතුය. බොහෝ මනෝවිද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් වර්ධනයට පත්වී ඇති අතරම නව ඥානය ද සපයන බව පැහැදිලිය.

             මනෝවිද්‍යාව යනුවෙන් බහුලව භාවිතා කලද ඉන් කුමක් නියම වශයෙන් අදහස් කෙරේද යන්න පිලිබදව යම් යම් මතභේද වේ. පොදු ජනතාව මනෝවිද්‍යාව යන පදයෙන් බොහෝ දුරට අදහස් කරනුයේ මිනිසාගේ සෑම සිතුම් පතුමක්ම ක්‍රියාකාරකමක් ම විග්‍රහ කල හැකි හැසිරවිය හැකි විද්‍යාවක් ලෙසය. එහෙත් විද්‍යාත්මක අධ්‍යනයක් ලෙස මනෝවිද්‍යාව හදාරන විට ඊට වඩා නිශ්චිත නිර්වචනයක් සකසා ගත යුතුවේ.

            අප මනෝවිද්‍යාව යයි හදුන්වන Psychology යනුවෙන් ඉංග්‍රීසියෙන් හැදින්වෙන විෂය නාමය සකස්වී ඇත්තේ Psyche (සයිකි) යන ග්‍රීක භාෂාවෙන් ආත්මය ලෙස හදුන්වන පදය ඇසුරු කොටය.මේ නිසා ආත්මය පිළිබද දැනීම ලබා ගැනීමේ විෂයය Psychology (සයිකොලොජි) ලෙස මුලදී අර්ථකතනය විය. පසුව ආත්මය යන සංකල්පය බිඳ වැටෙත්ම එය 'මනස පිළිබද විද්‍යාව' ලෙස හදුන්වන්නට විය.

            මනෝවිද්‍යාවේ නව දියුණුවත් සමග මනෝවිද්‍යා විෂයට ඉදිරිපත් වු නිර්වචනද ක්‍රමයෙන් වෙනස් විය. පසුගිය වසර 75ක පමණ වු කෙටි ඉතිහාසය තුල මනෝවිද්‍යාව විවිධ ලෙස නිර්වචනය විය. මුල් කාලීන මනෝවිද්‍යාඥයින් මෙම විෂය මානසික ක්‍රියාකාරිත්වය පිළිබද අධ්‍යනය ලෙස නිර්වචනය කලද චර්යාවාදී ගුරුකුලය දියුණුවීමත් සමගම ඔවුන්ගේ අවධානය යොමුවූයේ බාහිරව විද්‍යමාන වාස්තවික ලෙස මිණිය හැකි චර්යාවන් පිලිබදව පමණි.  

               ඒ අනුව මනෝවිද්‍යාව යන්න “චර්යාව පිළිබද අධ්‍යනය” යනුවෙන් නව නිර්වචනයක් ඉදිරිපත්විය. සතුන් පිලිබදව කරනු ලබන සම්පරික්ෂණවලින් ලබාගන්නා තොරතුරු මිනිසුන්ටද සාමාන්‍යකරණය කල හැකිය යන අභ්‍යුපගමනයට පසුව එළඹුණි. ඒ නිසා ඉහත කි නිර්වචනය මිනිසුන් වෙනුවෙන් මෙන්ම සතුන් වෙනුවෙන්ද කරන පර්යේෂණ ද ඇතුල්වන සේ පුළුල් විය. 1930 සිට 1960 දක්වා කාලය තුලදී මනෝවිද්‍යාව පාඨ ග්‍රන්ථවල භාවිත වුනේ මෙම නිර්වචනයයි. එහෙත් ප්‍රජනන මනොවිද්යාඥයන්ගේ මතය ප්‍රකාශ වීමත් සමග නුතන නිර්වචනය හැඩගැසුණි. එම නිර්වචනයේ චර්යාව හා මානසික ක්‍රියාවලිය යන දෙකම සකිල්ලකට ගනිමින් ඉදිරිපත්ව ඇත. නුතන මනෝවිද්‍යාඥයන් කිසිවෙකු එය මනස පිළිබද විද්‍යාව ලෙස දැන් නිර්වචනය කරනු නොලැබේ.

             මනෝවිද්‍යාව යනු ආත්මයේ ස්වභාවය ගවේෂණය කිරීමට භාවිතා කරන විෂයක් ලෙස ඇරිස්ටෝටල්ට අනුව ජිවිතයේ ප්‍රධාන පැවැත්ම සහ පදනම ලෙස සැලකෙන්නේ ආත්මයයි. මෙම ආත්මය යන පදය මනස ලෙසත් වඩාත් මෑතකදී එය චර්යාව ලෙසත් වර්ධනයට පත්වී ඇත. මේ නිසා මනෝවිද්‍යාව අද මුලාරම්භයේදී මෙන් නොව දර්ශනයෙන් වෙනස් වු ප්‍රධාන විෂය ක්ෂේත්‍රයකි. එය විවිධ ශාඛාවන්ට බෙදී වර්ධනය වී තිබේ.

                තෝමස් සිටෝක් හා මර්ලි මර්යාස් නම් මනෝවිද්‍යාඥයින් විසින් මනෝවිද්‍යාව වඩාත් අනුභාවික විද්‍යාවක් බවට පත්වන්නේ එහි භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමවේදය හේතුකොටගෙන බව පවසා ඇත. ඒ අනුව පහත සදහන් අදියරයන් විද්‍යාත්මක ගවේෂණයක පැවතිය යුතුය.

1.       සංකල්ප (නිරීක්ෂණ, න්‍යායාත්මක භාවිතමය සහ ප්‍රමාණාත්මක වශයෙන්)

2.       රීති (හේතුඵලය, ශ්‍රිතමය වශයෙන් පොදු ගුණාංගමය ලෙස හා සම්භාව්‍යමය වශයෙන්)

3.       පැහැදිලි කිරීම (අනාවැකි ප්‍රකාශ කිරීම)

4.       න්‍යාය (ආකෘතිය)

චර්යා විද්‍යාවක් වන බැවින් අනෙක් විද්‍යාවන්ට වඩා මනෝවිද්‍යාව සංකීර්ණයි. අධ්‍යනය කිරීමට කාලය ගතවන සුළුය. පොදු ආකෘතින් බොහෝවිට භාවිතා කරනු ලැබීය හැකි වුවද මිනිස් චර්යාව එකම ආකාරයකටම සිදුවන බව ප්‍රකාශ කල නොහැක. එම නිසා මනෝවිද්‍යාඥයන්ට නව ගැටළු පුළුල් ලෙස නැවත නැවතත් අධ්‍යනය කිරීමට සිදුවේ.

  

 මනෝවිද්‍යාවේ නිර්වචන

“මනෝවිද්‍යාව යනු මානසික ජිවිතයේ, එහි සංසිද්ධීන් හා තත්වයන්ගේ විද්‍යාවයි. අප හැගීම, අභිරුචි, ප්‍රජානනය, තර්කනය, තීරණය යනාදී වශයෙන් හදුන්වන දෑ සංසිද්ධීන් වේ.”

                                                                                                විලියම් ජේම්ස් - 1890



“අප අභ්‍යන්තර අත්දැකීම් මැනවින් හදුන්වන දෙය පර්යේෂණ කිරීම මනොවිද්‍යාවයි. අපගේ සංවේදිතා හා හැගීම්, අපගේ සිතුවිලි හා අභිප්‍රාය ස්වභාවික විද්‍යාවේ කරුණු වන භාහිර අත්දැකීම්වල අරමුණුවලින් මුළුමනින්ම වෙනකොට හදුනාගත යුතුය.

                                                                                                විලියම් වුන්ඩට් - 1892



“චර්යාවාදියාහට මනෝවිද්‍යාව ස්වභාවික විද්‍යාවේ මානව චර්යාව පිලිබදව වන අංශය වේ. එහි ක්‍රියාවන් හා කියමන්, උගත් හා නුගත් යන දෙකොටසම එහි විෂය කරුණු වේ.”

                                                                                                ජෝන් බී. වොට්සන් - 1919  
“මනෝවිද්‍යාවේ තාවකාලික නිර්වචනයක් ලෙස තම බාහිර ලෝකය සමග සම්බන්ධවීමේදී ජිවත්වන සතුන්ගේ චර්යාව විද්‍යාත්මකව හැදෑරීම එහි ගැටලුව යයි අපට කිව හැකිය.”
                                                                                                කර්ට් කොෆ්කා - 1925

“පුළුල් වශයෙන් සැලකුවහොත් මනෝවිද්‍යාව ජිවින්ගේ චර්යාව පැහැදිලි කරන සාමාන්‍ය නීති,අනාවරණය කිරීමට තැත් කිරීමක් වේ. සත්වයා මිනිසා හෝ වෙනත් අයෙකු හට කල හැකි විවිධ වර්ගවල ක්‍රියාකාරිත්වය හදුනා ගැනීම, විස්තර කිරීම හා වර්ග කිරීමට තැත් කිරීමකි.”
                                                                                                ආතර් ගේට්ස් - 1931

“අද මනෝවිද්‍යාව චර්යාව පිළිබද විද්‍යාව ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරනු ලැබේ. එසේ වුවද චර්යාව යන්නෙහි අර්ථයද දැන් ව්‍යාප්ත වී පෙර අත්දැකීම් වශයෙන් සලකනු ලැබූ සෑහෙන දැන් ඊට ඇතුලත් වේ. සිතීම වැනි පෞද්ගලික පුද්ගල බද්ධ ක්‍රියාවලින් පවා දැන් අභ්‍යන්තර චර්යා ලෙස සලකනු ලැබේ.”
                                                                                                නෝර්මන් මන් - 1981

“මනෝවිද්‍යාව යනු මිනිස් චර්යාව වටහා ගැනීම සදහා මිනිස් මානසික ක්‍රියාවලියන් හා ස්මරණ ව්‍යුහයන් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමයි.”
                                                                                                රිචර්ඩ් මේයර් - 1981
             
  

  







 

Comments

Popular posts from this blog

Perception